රියාද්හි පැවැත්වෙන 26 වන UNWTO මහා සභා රැස්වීමට සහභාගී වීම සඳහා සෞදි අරාබියේ සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් කුමරු අතර ඵලදායී ද්විපාර්ශ්වික හමුවක් අද (09) පවත්වා තිබුණි.
දෙරට අතර ද්විපාර්ශ්වික දේශපාලන හා ආර්ථික සහයෝගීතාව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ක්‍රම සහ විධි මෙහි දී සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකාවේ වත්මන් පාලනය තුළ නිර්මාණය වී ඇති ආයෝජන හිතකාමී පරිසරය පිළිබඳව ද විස්තර කර ඇති අතර විවිධ අංශවල රට තුළ බිහි වී ඇති ආයෝජන අවස්ථා ප්‍රයෝජනයට ගන්නා ලෙස සෞදි අරාබියාවේ පෞද්ගලික අංශයටත් අමාත්‍ය විජිත හේරත් මහතා ආරාධනා කර ඇත.
මෙම සංචාරයේ දී දෙරටේ වාණිජ මණ්ඩල අතර ස්ථාපිත කිරීමට නියමිත පළමු ව්‍යාපාරික කවුන්සිලය පිළිබඳව ද අමාත්‍යවරයා පෙන්වා දී ඇති අතර එය දෙරට අතර පෞද්ගලික අංශයේ අන්තර්ක්‍රියා වැඩි කිරීම සඳහා හේතු වනු ඇති බවද පෙන්වා දී තිබේ.
