ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා 30%ක අන්‍යෝන්‍ය තීරුබද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

ඊට අදාළ ලිපිය ධවල මන්දිරය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිකුත් කර ඇත.

පසුගිය අප්‍රේල් දෙවන දින අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා  44%ක අන්‍යෝනය තීරුබදු පැනවීමක් සිදුකළ අතර එය  ක්‍රියාත්මක කිරීමට  සහන කාලයක් ලබා දී තිබුණි.

එම සහන කාලය ඊයේ (09) දිනයෙන් අවසන් වු අතර ඒ අනුව අගෝස්තු මස පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි 30%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ. 

ඒ අනුව ශ්‍රී ලංකාව තම තීරුබදු ඉහළ දැමීමට පියවර ගතහොත්, එම ප්‍රතිශතයම දැනට පවතින 30% බද්දට එකතු කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා සිය ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.


අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පනවා තිබු  44%ක තීරුබද්ද 30%ක් දක්වා අඩු කිරීම ධනාත්මක ප්‍රවේශයක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පෙන්වාදෙන්නේ ලැයිස්තුගත කර ඇති සියලු රටවල් අතරින් විශාලතම තීරුබදු අඩු කිරීම සිදුකර ඇත්තේ ශ්‍රි ලංකාවට බවය.

මෙය දෙරට අතර ද්වීපාර්ශවික සබඳතාවල  සහ රාජතාන්ත්‍රික මැදිහත්වීමේ ප්‍රතිඵලයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් 6ක් සඳහා ඊයේ දිනයේ අමෙරිකානු ජනාධිපතිවරයා විසින් නව තිරූබදු පැනවිම සිදුකළ අතර ඒ අනුව ඇල්ජීරියාව, ඉරාකය සහ ලිබියාව සඳහා ද 30%ක තීරුබදු පැනවීමක් සිදුකරනු ලැබීය. 

බෲනායි සහ මෝල්ඩෝවා සඳහා 25%ක් ලෙසත්, පිලිපීනය සඳහා 20%ක් ලෙසත් අමෙරිකාව විසින් තීරුබදු පැනවීම සිදුකර තිබේ.

ඊට අමතරව පසුගිය සදුදා දිනයේ ද රටවල් 14කට අමෙරිකානු ජනාධිපතිවරයා විසින් නව තිරුබදු ප්‍රකාශයට පත් කරනු ලැබීය.

මේ අතර බ්‍රසීලයට 50%ක තීරුබද්දක් පැනවීමට අදහස් කර ඇති බව ද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *