පාකිස්තානයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම වසරේ ඉකුත් ජුනි මස අග සිට මේ දක්වා වූ කාලය තුළ අවම වශයෙන් පුද්ගලයින් 500ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආපදා අංශ තහවුරු කර ඇත.

මෙම මියගිය පිරිස අතර අඩක්ම දරුවන් බව සඳහන් වේ.

පාකිස්තානයේ මෝසම් සමය සාමාන්‍යයෙන් ජූලි සිට සැප්තැම්බර් දක්වා පවතින අතර මෙම කාලසීමාවේ දී වාර්ෂික වර්ෂාපතනයෙන් සැලකිය යුතු කොටසක් ලැබේ. 

ඒ හේතුවෙන් වසරේ ජූලි – සැප්තැම්බර් යනු එරට වයඹ හා උතුර ප්‍රදේශව නිරන්තයෙන් ස්වභාවික ව්‍යසනයන්ට මුහුණදෙන කාලසීමාවකි.

පාකිස්තානයේ ආපදා කළමනාකරණ පෙන්වා දෙන්නේ බොහෝ දෙනෙක් දියේ ගිලී හෝ ඔවුන්ගේ නිවාස කඩා වැටීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

ඉන් දිවි ගලවාගත් පිරිස ජලයෙන් බෝවන මාරාන්තික රෝගවලට මුහුණ දෙන බවද ඔවුන් සඳහන් කර සිටී.

මිලියන 250ක පමණ ජනතාවක් වෙසෙන පාකිස්තානය, ගෝලීය වායු දූෂණයෙන් 0.5% කට පමණක් වගකිව යුතු වුවද, ලෝකයේ වඩාත්ම දේශගුණික අවදානමට ලක්විය හැකි රටවලින් එකකි. 

අයහපත් කාලගුණය නිසා මේ වසරේ මෙතෙක් ඇති වූ මාරාන්තිකම සිදුවීම වාර්තා වූයේ පසුගිය සිකුරාදායි.

එහිදී පැය 24ක් තුළ ගංවතුරෙන් පුද්ගලයින් 180කට වැඩි පිරිසක් මිය ගියේය.

මෙය එක් සිදුවීමක් පමණක් වන අතර එවැනි සිදුවීම් කිහිපයක්ම පසුගිය දින කිහිපය පුරාම වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *