2025 පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ස්ථාවර ප්‍රගතියක් දැක්විය හැකි ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කරන ලදී. මෙම කාලසීමාව තුළ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,583.25ක් ලෙස වාර්තා වී ඇති අතර එය  2024 දී එම කාලසීමාවට සාපේක්ෂව 6.9%ක වර්ධනයකි. මෙම ඉහළ යාම වර්ධනය වන ගෝලීය වෙළඳ පරිසරයට අප අනුකූල වීමේ හැකියාවත් පිළිබිඹු කරයි.

2025 අප්‍රේල් මාසයේදී පමණක් භාණ්ඩ සහ සේවා අපනයන මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,292.63ක් ලෙස සටහන්වී ඇත. මෙය 2024 අප්‍රේල් මාසයට සාපේක්ෂව 8.74%ක වාර්ෂික වර්ධනයකි.

අපනයන කාර්ය සාධනය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පැවසූවේ:”මෙම ශක්තිමත් වර්ධනය මගින් පෙන්නුම් කරනුයේ ශ්‍රී ලංකාව ගෝලීය වෙළඳ ජාලයට වඩාත් සමීපව එකතුවෙමින් ඇති ආකාරයත්, අපනයන තරඟකාරීත්වය වර්ධනය කරමින් වෙළඳ ප්‍රවේශය පුළුල් කිරීම සඳහා අප ගත් දිගුකාලීන උත්සාහයන්ගේ සාර්ථකත්වයත් බවයි. අප අපනයකරුවන් ඔවුන්ගේ හැකියාව හා දැනුම භාවිතයෙන් ගෝලීය වෙළඳ පරිසරයේ වෙනස්කම්වලට හැඩගැසීමට හැකි බව  ද පෙන්වා දී ඇත.”

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ තාවකාලික දත්ත අනුව, 2025 අප්‍රේල් මාසය තුළ පමණක් භාණ්ඩ අපනයනය වාර්ෂිකව 12.05%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 983.33ක් දක්වා ළඟා වී ඇත. මෙයට මැණික් සහ ස්වර්ණාභරණ සහ පෙට්‍රොලියම් නිෂ්පාදන සඳහා වූ දත්තද ඇතුළත් වේ. 2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලසීමාවේ භාණ්ඩ අපනයන මුළුමනින්ම ඇමරිකානු ඩොලර් මිලියන 4,334.22ක් වන අතර, එය 2024 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 6.86%ක වර්ධනයකි.

සේවා අපනයන අංශය මුළු අපනයන වර්ධනයට වැදගත් දායකත්වයක් ලබාදී තිබේ. 2025 අප්‍රේල් මාසයේදී සේවා අපනයන ආදායම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 309.3ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත. වසරේ පළමු මාස හතර තුළ සේවා අපනයන ආදායම 7.06%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1,189.63ක් දක්වා ළඟා වී ඇත. මෙය ශ්‍රී ලංකාවේ දැනුම පදනම් කරගත් ආර්ථිකය වර්ධනය වෙමින් පවතින ආකාරයත්, ජාතික අපනයන ආදායමට එය කරන දායකත්වයත් පැහැදිලිව පෙන්වයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT), ව්‍යාපාර ක්‍රියාවලිය කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන සහ සැපයුම් (Transport & Logistics) යන අංශයන්ගෙන් සමන්විත සේවා අපනයන අංශය ශ්‍රී ලංකාවේ අපනයන ව්‍යාප්තිය විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *