ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය කඩඉමක් සනිටුහන් කරමින් මෙවර (2023-2025) ටෙස්ට් ලෝක ශූරතාව දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (14) සමත් විය.

ඒ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින්.

මෙම ජයග්‍රහණයත් සමග දකුණු අප්‍රිකානුවන්ගේ  ‘ක්‍රිකට් ලෝක කුසලාන සාපය’ නිමාකිරීමට බවුමාගේ නායකත්වයට හැකිවිය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 282ක ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී තිබියදී පසුකර යෑමට දකුණු අප්‍රිකාව සමත් විය.

තරගයේ 4වන දිනය වූ අද දිනය තරගයට ආරම්භ කරන විට ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 213ක් රැස්කරගෙන ජයග්‍රහණයට ලකුණු 69ක් පසුපසින් පසුවිය. 

ඉතා ඉවසිලිවන්ත ලෙස පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ජයග්‍රහණයේ නියමුවා වූ ඒඩියන් මාක්‍රම් පන්දු 207කට මුහුණ දෙමින් ලකුණු 136ක් රැස්කරගෙන සිටියදී ජය පෙනෙන මානයේදී දැවී ගියේය.

ඔහු ටෙම්බා බවුමා සමගින් තෙවන කඩුල්ලට ගොඩනැගූ ලකුණු 147ක වටිනා සබඳතාව දකුණු අප්‍රිකානු ජයග්‍රහණයේ තීරණාත්මක සාධකය විය.

නායකත්යේ ඉනිමක් ක්‍රීඩාකළ බවුමා ලකුණු 66ක් රැස්කරගෙන සිටියදී දැවී ගියේය.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 212ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 138ක් පමණි.

කෙසේ නමුත් ලකුණු 74ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ඇරඹූ ඔස්ට්‍රේලියාවේ සියලු ක්‍රීඩකයින් ලකුණු 207ක් තුළ දැවී ගියේය. 

ඒ අනුව දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 282ක ඉලක්කයක් හිමිවිය.

තරග අවසානයට දින එක හමාරක් පමණ ඉතිරිව තිබියදී ලෝක ටෙස්ට් ශූරතාවේ පහස ලැබීමට දකුණු අප්‍රිකාවට හැකියාව ලැබුණි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *