Starlink ඉන්ටර්නෙට් සේවාව පළමු සේවා ලාභීන් 12 දෙනා අතර මෙම සතියෙන් පසුව ආරම්භ කරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් (විශ්‍රාමික) සඳුඳා ජූනි 16 පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

මෙම සැටලයිට් බ්‍රෝන්ඩ්බෑන්ඩ් සේවාව ලබා දීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ කට්ටල් 112ක් මේ වන විට මෙරටට ගෙන්වා ඇති අතර ඒවායෙන් කට්ටල් 12ක් මේ සතියේ සිය සේවා ලාභීන් වෙත ලබා දී තිබේ.

ඒ අනුව, මෙරට තම සේවා කටයුතු ආරම්භ කරන බව Starlink සමාගම දන්වා ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

Starlink වෙබ් අඩවියේ සඳහන් පරිදි නිවාස සඳහා සුදුසු පැකේජයේ මාසික ගාස්තුව රුපියල් 15,000කි.

එමෙන් ම තාක්ෂණික උපකරණ සඳහා රුපියල් 118,000ක් අය කරනු ලබයි.

මෙම සේවාව ඔස්සේ සීමා රහිත අන්තර්ජාල සේවාවක් ලබා දෙනු ලබන අතර මෙම ගාස්තු සඳහා බදු ඇතුළත් ද යන්න එහි සඳහන් කර නැත.

දැනට එම සමාගම ශ්‍රී ලංකාව සඳහා හඳුන්වා දී ඇත්තේ මෙම පැකේජය පමණක් බව ඔවුන්ගේ වෙබ් අඩවිය පරික්ෂා කිරීමේ දී දැකගත හැකි වේ.

ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලෝන් මස්ක් හිමිකාරිත්වය දරන Starlink ඉන්ටර්නෙට් සේවාව මෙරට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කතාබහක් ඇති වූයේ, ඉකුත් වසරේ මැයි මාසයේදී ය.

එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ සහ ඊලෝන් මස්ක් අතර ඉන්දුනීසියාවේදී සිදුවූ හමුවකින් අනතුරුව Starlink ඉන්ටර්නෙට් සේවය මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා පළමු යෝජනාව ඉදිරිපත් විය.

එම සේවාව මෙරටට ලබා දීමට වසර 28කට පසුව විදුලි සංදේශන පනත ද සංශෝධනයට ලක් කරන ලද්දේ මෙරට තුළ සැටලයිට් ඔස්සේ අන්තර්ජාල සේවා ලබා දීම නීතිමය අවකාශයක් නොතිබීම නිසාවෙනි.

මෙරට සිය සේවාවන් ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් Starlink ආයතනයට 2024 අගෝස්තු මස 12 වන දා බලපත්‍රය නිකුත් කරනු ලැබිණි.

මූලාශ්‍රය BBC – සිංහල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *