රුසියාව සහ යුක්‍රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම අරමුණ කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්ව තිබේ.

ඇලස්කාවේ එල්මෙක්ඩෝෆ්-රිචඩ්සන් හමුදා කඳවුරේ දී පැවති මෙම සාකච්ඡා මෙරට වේලාවෙන් අද (16) අලුයම අවසන් විය.

ලෝක බලවතුන් දෙදෙනා පැය 3කට ආසන්න කාලයක් මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.

කෙසේ නමුත් සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් නොකළ අතර, කිසිදු ගිවිසුමක් හෝ සටන් විරාමයක් ප්‍රකාශ නොකර පිටව ගියහ.

“ගිවිසුමක් ඇති වන තුරු ගිවිසුමක් නැහැ” යනුවෙන් ට්‍රම්ප් පැවසූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මෙම තීරණාත්මක සාකච්ඡාවෙන් පසු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වෙන බව ධවල මන්දිරය මීට පෙර පවසා තිබුණද, දෙදෙනාම කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු නොදී පිටව ගොස් ඇත.

කෙසේ නමුත් එම සාකච්ඡාවට සහභාගීවීමට යුක්‍රේන ජනාධිපති වොලොදමීර් සෙලෙන්ස්කි හට ආරාධනා නොලැබීම ද විශේෂත්වයක්.

ඒ හේතුවෙන් සාකච්ඡාවට පෙර සිටම යුක්‍රේන ජනාධිපතිවරයා පවසා තිබුණේ, තමන්ගේ සහභාගීත්වයෙන් තොරව පැවැත්වෙන මෙම සාකච්ඡාවේ ගන්නා තීරණ ඵලරහිත බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් යුක්‍රේනයට සහාය දක්වන යුරෝපීය රටවල් සඳහන් කර තිබුණේ, යුක්‍රේනය එකඟ නොවන කිසිදු කොන්දේසියකට තමන් ද එකඟ නොවන බවය.

2022 වසරේ පෙබරවාරි මාසයේ දී යුක්‍රේන යුද්ධය ආරම්භ වීමෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා බටහිර රටක සංචාරය කරන පළමු අවස්ථාව මෙය වේ.

එමෙන්ම අමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් වසර 6කට පසු මුහුණට මුහුණ හමු වූ පළමු අවස්ථාවද මෙයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *