අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් සහ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙම නියෝගය නිකුත් කළා ය.

2023 වසරේ සැප්තැම්බර් මස 22 සහ 23 යන දිනවල බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් ඒ සඳහා රුපියල් ලක්ෂ 166ක රජයේ මුදල් වැය කර රජයේ අරමුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේ අගෝස්තු 22 වන දා පස්වරුවේදී ය.

ඒ, ඔහු ජනාධිපති ධූරය දැරූ සමයේ සිදුකළ විදෙස් සංචාර සම්බන්ධයෙන් සිදු කරමින් ඇති විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පෙරවරුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී ය.

නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තැබිණි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් අධිකරණය හමුවේ සඳහන් කළේ, සැකකරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බව ය.

විමර්ශන කටයුතු අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේ ය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූෂ ප්‍රේමරත්න ධිකරණයේ කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේ ය.

ඉන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබන බව මහේස්ත්‍රාත්වරිය නිවේදනය කළා ය.

2022 වසරේ ජූලි 20 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා වසර දෙකකට ආසන්න කාලය තුළ බලයේ සිටි ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ විදෙස් සංචාර 23කට සහභාගී වී ඇති අතර, එක් එක් විදේශ සංචාර පිළිබඳව තොරතුරු පරීක්ෂා කිරීම මෙතෙක් අවසන් වී නොමැති බවට මීට පෙර තොරතුරු දැනගැනීමේ පනත යටතේ බීබීසී සිංහල කළ තොරතුරු විමසීමකදී ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ ය.

මූලාශ්‍රය – BBC සිංහල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *