COLOMBO: ෂැංහායි සහයෝගිතා සමුළුව ආරම්භ වන්නේ 2001 වසරේ චීනය, රුසියාව, කසකස්ථානය, උස්බකිස්ථානය, කිරිකිස්ථානය සහ ටජිකිස්ථානය යන රටවල් වල එකමුතුවෙන් චීනයේ ෂැංහායි නුවර දීයි. කලාපීය ආරක්ෂාව සහ ත්‍රස්තවාදය වැළැක්වීම මෙහි ආරම්භක අරමුණු වුණා. මෙම වසරේ සමුළුව සඳහා ග්‍රාමීය සංවර්ධනය, දිළිඳුකම පිටුදැකීම සහ තාක්ෂණ හුවමාරුව ඉලක්ක ගත වී තිබුණා.

මෙම ආරම්භක රාජ්‍යයන්ට අමතරව ඉන්දියාව, පකිස්ථානය, බෙලරුස් සහ ඉරානය යන රටවල් මේ වන විට එහි නිත්‍ය සාමාජිකතත්වය දරයි. ඇෆ්ගනිස්ථානය හා මොන්ගෝලියාව එහි නිරීක්ෂණ මට්ටමේ සාමාජික රටවල් ලෙස පවතින අතර ඔවුන්ගේ සාමාජිකත්වය මෙතෙක් ක්‍රියාත්මක කර නැහැ.

ඊට අමතරව තවත් සංවාද රාජ්‍යයන් 14ක් ඉදිරියේදී එහි සාමාජිකත්වය අපේක්ෂාවෙන් පසුවනවා. තුර්කිය, බහරේන්, කටාර්, ලංකාව, ඊජිප්තුව, අසර්බයිජානය, නේපාලය, මියන්මාරය, එක්සත් අරාබි එමිර් රාජ්‍ය, සෞදි අරාබිය, කුව්වෙටය, කැම්බෝඩියාව, ආර්මේනියාව සහ මාලදිවයින මේ රටවල් 14 වනවා.

මෙවර සමුළුව සඳහා රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින්, චීන ජනාධිපති ෂිජින්පින් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි යන මහත්වරු සහභාගී වී සිටියා. ඒමෙන්ම චීනයේ විශේෂ ආරාධනයක් අනුව උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් ද ඊට සහභාගී වී සිටියා.

එමෙන්ම දසවැනි ෂැංහායි සහයෝගිතා සමුළුව විසින් කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ හවුල් ප්‍රකාශය එළිදැක්වීම ද සිදු වුණා.

ජනපති ට්‍රම්ප් රුසියානු තෙල් ගනුදෙනු අරභයා පැනවූ අතිරේක බදු නිසා වොෂින්ටනය හා නව දිල්ලිය අතර හොඳ හිත පලුදු වූ පසුබිමක නරේන්ද්‍ර මෝඩි වෙත චීනයේ සහ රුසියාවේ මුහුණත් සහය හිමි වූ බව පෙන්වීමට ඉන්දීය මාධ්‍ය සහ ලිබරල් ලෝක මාධ්‍ය විශේෂ උත්සහයක් ගනු ලැබුවා. කෙසේ වෙතත් අප මේ පිළිබඳව ඊශ්‍රායෙල රාජ්‍යයේ ආරාධනය පරිදි එහි සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකාවේ භූ දේශපාලන විශ්ලේෂකයන් අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා ශාලිත කැමරූන් ගෙන් දුරකථනය ඔස්සේ විමසීමක් කරනු ලැබුවා. ඔහු පැවසුවේ ඉන්දීය සහ ඇමරිකානු රාජ්‍යයන් ආර්ථිකව සහ සාමාජියව ඉතා ගැඹුරින් එකිනෙකා ගැටගැසී තිබෙන පසුබිමක ඉන්දීයාවේ මෙම හැසිරීම නාමික උපායක් මිස ප්‍රායෝගික වෙනස් කමක් ලෙස තමන් නොදකින බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මෙම සමුළුව සඳහා කිසිවෙකු සහභාගී නොකළ බව කොළඹ පදනම් කරගත් දේශීය මාධ්‍ය ආයතනයක් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් කළ විමසීමකදී තහවුරු කර තිබුණා. මෙවර සමුළුවට ජනාධිපති අනුර කුමාර දිසානායක හෝ කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා සහභාගී වීම වඩාත් උචිතව තිබුණා.

මින් පෙර රුසියානු තානාපතිවරයා ද කොළඹදී පැවසුවේ ශ්‍රී ලංකාව බ්‍රික්ස් සමුළුව සඳහා ද සහභාගී වීමට උනන්දුවක් නොදැක්වූ බවයි. කෙසේ වෙතත් ලංකාවේ අපනයන සහ තවත් බොහෝ දේ බටහිර හා බැඳී පවතින වටපිටාවක නව රජය වඩාත් කල්පනාකාරීව කටයුතු කරන බවක් මින් පෙනී යයි.

මෝඩි චීනය වෙත පැමිණියේ ජපානයේ නිල සංචාරයක් අවසන් කරමිනි. සමුළුව අවසානයේ ඉන්දියානු අගමැතිවරයා පිටත්ව ගිය අතර පුටින් සහ කිම්ජෝන් උන් චීන ජයග්‍රහණයේ දින හමුදා පෙළපාලිය සඳහා තවත් දින කීපයක් රැඳී සිටියා. එමෙන්ම කිම් ජෝන් උන් චීනය වෙත පැමිණි අධි ආරක්‍ෂිත දුම්රිය ගැනත් බොහෝ දෙනෙකු අවධානය යොමු කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *