ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරය ඇමතීම ඊයේ (26) දිනට යෙදී තිබුණි.
සමුළුව ඇමතීම සඳහා අගමැතිවරයා වේදිකාවට පැමිණි අවස්ථාවේ රටවල් රැසක නියෝජිතයින් ඔහුට විරෝධය දක්වමින් එම ශාලාවෙන් පිටතට ගොස් තිබුණි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80වැනි සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මේ දිනවල පැවැත්වෙයි.
එහිදී ලොව පුරා බොහෝ දෙනෙකු දැඩි උනන්දුවකින් බලා සිටි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමුළුව ඇමතීම මෙලෙස ඊයේ දිනට යෙදී තිබුණි.
මහා මණ්ඩල සැසියට එක්වීමට ගිය නෙතෙන්යාහු රැගත් ‘වින්ග්ස් ඔෆ් සියෝන්’ නිල ගුවන්යානය අමරිකාවට ළඟාවුණේ, යුරෝපා රටවල් රැසක ගුවන් කලාප මඟහරිමිනි.
ඒ යුද අපරාධ චෝදනා මත ඔහුට එරෙහිව අන්තර්ජාතික අපරාධ අධිකරණය නිකුත් කර ඇති වරෙන්තුවක් අනුව, එම කලාපය තුළදී ඔහුව අත්අඩංගුවට පත්වීමට ඇති හැකියාව හේතුවෙනි.
මහා මණ්ඩල සැසිවාරයට එක්වූ අගමැති නෙතන්යාහු සමුළුව ඇමතීම සඳහා වේදිකාවට පැමිණි අවස්ථාවේ රටවල් රැසක නියෝජිතයින් එම ශාලාවෙන් පිටතට ගොස් තිබුණේ ඔහුට විරෝධය දක්වමිනි.
කෙසේ වෙතත් තවත් පිරිසක් නෙතන්යාහුට සහාය දක්වමින් අත්පොලසන් දෙමින් කටයුතු කර තිබුණි.