ශ්‍රී ලංකාව විසින් ඉන්දියානු ධීවරයන් අත්අඩංගුවට ගැනීමේ ගැටලුව හදිසි නීතිය බලාත්මකව පැවති කාලයේ ඇතිකරගත් ගිවිසුමක ප්‍රතිඵලයක් බව විදේශ ඇමති ආචාර්ය එස්. ජයශංකර් මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඉන්දිරා ගාන්ධි පාලන සමයේ බලපැවැත්වූ හදිසි නීතිය සම්බන්ධයෙන් පැවති සංවත්සර උත්සවයකදීය. 1975 වසරේ ජූනි මස අගදී රට මුහුණ දෙන අභ්‍යන්තර සහ බාහිර අභියෝග වලට මුහුණ දීම සදහා බව පවසමින් හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මැතිණිය පැනවූ හදිසි තත්වය එවක මෙන්ම වර්තමානයේ පවා බරපතළ විවේචනයකට තුඩු දුන් සිදුවීමකි. මේ කාලය තුළ ඇය විසින් බලය අත්තනෝමතික ලෙස හැසිරවූ බවත්, විපක්ෂ ක්‍රියාකාරීන් මර්ධනය කල බවටත් චෝදනා එල්ල වේ. මාස විස්සකට අධික කාලයක් පුරාවට හදිසි නීතිය ක්‍රියාත්මක වූ අතර මේ කාලය තුළ ව්‍යවස්ථාදායකය නොසලකා තීන්දු තීරණ ගැනීමට ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරිය කටයුතු කළාය. මේ සිදුවීම සම්බන්ධ ප්‍රබල විවේචකයෙක් වන ජයශංකර් අමාත්‍යවරයා හදිසි නීතිය පනවා වසර පනහක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයකදී එකල අත්සන් තැබූ ඉන්දු ශ්‍රීලංකා සමුද්‍රීය ගිවිසුම සම්බන්ධයෙන්ද සිහිපත් කළේය.
“කච්චතිව්, ජනාවාස නොවූ දූපතක්, 1974 දී ඉන්දිරා ගාන්ධි පාලනය යටතේ සමුද්‍රීය ගිවිසුමක් මගින් ශ්‍රී ලංකාවට පවරා දුන්නා. 1976 දී අත්සන් කරන ලද තවත් ගිවිසුමක් මගින් දෙරටේම ධීවරයන්ට අනෙක් රටේ සුවිශේෂ ආර්ථික කලාපයන්හි මසුන් ඇල්ලීම සීමා කරා. හදිසි තත්ත්වය පාර්ලිමේන්තු විවාදයකින් තොරව ගත් තීරණයකින් ගාන්ධිවරු ඉන්දීය ධීවරයන් පාවා දුන්නා. “
හදිසි නීතිය නිසා ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන ඉන්දියාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයටද බරපතළ කැළලක් ඇති වූ බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කර සිටියේය.