ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසල මාධ්‍යවේදීන් සිටි කූඩාරමකට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදී අනස් අල්-ෂරීෆ් ඇතුළු මාධ්‍යවේදීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (10) සවස ගාසා නගරයේ අල්-ෂිෆා රෝහලේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටත පිහිටි කූඩාරමකට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඒ අතරට අල් ජසීරා වාර්තාකරුවන් වන මොහොමඩ් කිරිකේ සහ කැමරා ශිල්පීන් වන ඊබ්‍රාහිම් සාහර්, මොහොමඩ් නූෆල් සහ මොමෙන් අලිවා ඇතුළත්.

ඝාතනයට ලක්වීමට සුළු වේලාවකට පෙර, 28 හැවිරිදි අල් ජසීරා වාර්තාකරුවෙකු වන අල්-ෂරීෆ්, ඊශ්‍රායලය විසින් ගාසා නගරයේ නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවලට දැඩි ප්‍රහාර එල්ල කරන බව X සමාජ මාධ්‍ය පිටුවෙහි සටහනක් තබා තිබෙනවා.

එමෙන්ම අවසන් පණිවිඩය ලෙසින් අල්-ෂරීෆ් සඳහන් කර ඇත්තේ තමා “සෑම විස්තරයකින්ම වේදනාව අත්විඳි බවත්” සහ “දුක නැවත නැවතත් රස විඳි බවත්” ය

අඳුරු අහස තැඹිලි ආලෝකයකින් ආලෝකමත් වන විට, ඊශ්‍රායලයේ දැඩි මිසයිල ප්‍රහාරවල ඝෝෂාව පසුබිමෙන් ඇසෙන වීඩියෝවක් ඔහුගේ අවසන් වීඩියෝව ලෙස කැමරාවේ සටහන් වෙනවා.

මෙම ඝාතන “ප්‍රකාශනයේ නිදහසට එල්ල වූ තවත් ප්‍රසිද්ධ ප්‍රහාරයක්” ලෙස අල් ජසීරා මාධ්‍ය ජාලය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියා.

කෙසේ වෙතත්, යුරෝ-මධ්‍යධරණී මානව හිමිකම් නිරීක්ෂණ මධ්‍යස්ථානයේ විශ්ලේෂකයෙකු වන මොහොමඩ් ෂෙහාඩා පැවසුවේ අල්-ෂරීෆ් කිසිදු සතුරු ක්‍රියාවකට සහභාගී වූ බවට “ශුන්‍ය සාක්ෂි” ඇති බවයි.

අල් ජසීරා වාර්තාකරු හනී මහමුද් පැවසුවේ, මාධ්‍යවේදීන් ඝාතනය කරනු ලැබුවේ ගාසා තීරයේ පලස්තීනුවන් විඳිමින් සිටින “කුසගින්න සහ මන්දපෝෂණය පිළිබඳ ඔවුන්ගේ නොනවතින වාර්තාකරණය” නිසා බවත්, “ඔවුන් මේ අපරාධයේ සත්‍යය සැමට ගෙන එන” නිසා බවත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *